ග්‍රැෆිටි එහෙම නැත්තම් බිත්තිවල චිත්‍ර අඳින එක මේ දවස් වල රැල්ලක් වෙලා තියෙනවා.ඒක නිසාම වීදි කලාකාරයන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා ඒ කියන්නේ ග්‍රැෆිටි වල පොර බැන්ක්සි (Banksy) ගැන ලියන්න හිතුවා.කව්ද මේ බැන්ක්සි කියන්නෙ? මේ දවස්වල නිතරම කියවෙන වචන ටිකකින්ම ඒකට උත්තර දුන්නෑකි.
"නමක් ගමක් නම් දන්නේ නෑ හැබැයි මනුස්සයෙක්."
එතකොට බැන්ක්සි කියන්නෙ නම නෙවේද? නෑ.ඒක නිකන් එයාව හඳුන්වන pet name එකක් විතරයි.ඇත්තටම බැන්ක්සි කියන්නෙ වීදි කලාකරුවෙක්, ග්‍රැෆිටි අඳින කෙනෙක්.මෙයා එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ ඉපදුන වයස හතලිස් ගානක කෙනෙක් කියන කරුණු ඇරුනම වෙන කිසිම දෙයක් කිසිකෙනෙක් දන්නේ නෑ.හැබැයි සැකයක් නැතුවම ලෝකයේ වැඩියෙන්ම කතාවුණු වීදි කලාකාරයා කියලා කියන්න පුලුවන්.එලියට බහින හැම රෑකම උදේ නැගිටින මිනිස්සු පුදුම වෙන විදිහේ නිර්මාණයක් ගොඩනැගිල්ලක, තාප්පයක එහෙම නැත්තම් කෝච්චි පෙට්ටියක ඇන්දලා බැන්ක්සි අතුරුදහන් වෙන්නේ පොලිසියේ ඇස් වලට පේන්නෙ නැති වෙන්න.
බැන්ක්සිගෙ චිත්‍ර එංගලන්තේ විතරක් නෙවේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, පලස්තීනය, ජැමෙයිකාව වගේ රටවල් වලත් දකින්න තියෙනවා.බැන්ක්සිගේ රූපමය හා උපහාසාත්මක ප්රකාශනය චිත්‍ර කලාව, දේශපාලනය, සමාජ විද්‍යාව, හාස්‍යය, ආත්මරාගය කියන විෂයන් පුරාම විහිදෙනවා.බැන්ක්සිගෙ චිත්‍ර පිලිවෙලකට තියෙන නගර හැඩි වෙන විදිහේ ඒවා නෙවේ, පිළිවෙලකට තියෙනවා කියලා හිතෙන පැවත්මක අපිළිවෙල ගැන හිතන්න පොලඹවන නිර්මාණයක්.
ඇත්තටම බැන්ක්සි චිත්‍ර අඳින්නේ ස්ටෙන්සිල් එහෙම නැත්තම් අච්චු යොදාගෙන.මේ නිසා ස්ටෙන්සිල් යොදාගෙන කරන නිර්මාණත් 'බැන්ක්සි' කියලා හඳුවනවා.මේ නිසා බැන්ක්සිට කාගෙවත් ඇස්වලට අහුවෙන්නෙ නැතිවෙන්න අන්ධකාරයේ වුණත් ඉතාම ඉක්මනට තමන්ගේ නිර්මාණය කරලා ඉවර කරන්න පුලුවන් වෙනවා.බැන්ක්සි නිතරම ධනවාදය, යුද්ධය, සත්ව හිංසාව සියුම්ව විවේචනය කරනවා.මේ නිසා බැන්ක්සිට ආදරය කරන අය වගේම හෙළාදකින අයත් ඉන්නවා.බැන්ක්සිගේ චිත්‍ර කලාගාරවල තියෙන චිත්‍ර වලට වඩා මිනිස්සුන්ගේ හිත්වලට බලපෑමක් එල්ල කරනවා, මොකද බැන්ක්සිගේ චිත්‍ර නිතරම පාරේ ගැවසෙන මිනිසුන්ගේ එදිනෙදා ඒකාකාරී ජීවිතයට කඩාපැනලායි හිතන්න දියක් ඉතුරු කරන්නේ.මේ නිසාමයි 2010 ටයිම්ස් සඟරාවේ ලොව වඩාත්ම බලපෑම් සහිත පුද්ගලයන් සියදෙනා අතරට එකතුවෙලා තියෙන්නේ.
බැන්ක්සි වැනි වීදි කලාකරුවන්ගේ නිර්මාණ පහුසු මිලට ගන්න පුලුවන් Pictures on Wall වගේ වෙබ් අඩවි තිබ්බත් බැන්ක්සිගේ නිර්මාණ අවසරයකින් තොරව කලාගාරවල විකිණෙනවා.ඔහුගේ සමහර නිර්මාන වෙන්දේසි වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 1.7ක් වගේ මිලකාට.2017 දී කොලින් ඩේල් නම් අධ්‍යක්ෂකවරයා Saving Banksy කියන වාර්තා චිත්‍රපටිය නිර්මාණය කරන්නේ බැන්ක්සිගේ චිත්‍ර කලුකඩ කාරයන්ගෙන් බේරාගන්නටයි. නිර්මාණ කිහිපයකට පස්සේ තමන් පටන්ගත්ත වැඩේ මොකද්ද කියනදේ අමතක කරලා රැස් වළලු හදාගන්න කලාකාරයෝ වගේම, ටික කාලෙකින් නිර්මාණය අමතක කරලා කලාකාරයාගේ රැස් වළල්ලට වඳින රසිකයෝ ඉන්න ලංකාව වගේ රටකට බැන්ක්සි වගේ තමන්ගේ නිර්මාණ මිලියන ගණන් වලට විකුනලා ජීවත් වෙන්න අවශ්‍ය නැති අය සහමුලින්ම ආගතුකයි.